Saturday 2nd of May 2026

English Tamil
Advertiesment


විවිධ පාර්ශ්වවල බලපෑම නිසා රටේ ඉන්ධන සම්පත් ලබා ගන්න බැහැ 


2026-05-02 1263

 

-විපක්ෂ නායක-

 

අප රටක් ලෙස පසුගිය වසර 7 තුළ ඛේදවාචකයන් 5කට මුහුණ දුන් බවත් පාස්කු ප්‍රහාර‌යේ සිට මැදපෙරදිග යුද ගැටුම දක්වා වූ මේ ඛේදවාචකයන් නිසා අප රට බරපතල අභියෝග රැසකට දැවැන්ත අවදානම් රැසකටද මුහුන දී ඇති බවත් අපේ රට මේ වන විට ඉතාම දැවැන්ත අනතුරුදායක තත්ත්වයන් රැසකට මුහුණ දෙන බවත් ආහාර සුරක්ෂිතභාවය, ආර්ථික සමාජීය දේශපාලන සෛරීභාවය මෙන්ම ජනතාවගේ ජන ජිවිතය සංවර්ධන රටාවන් ආදී සෑම දෙයක්ම බරපතල අන්තරාදායක තත්ත්වයකට මුහුණ දී ඇති බවත් විපක්ෂ නාය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අභියෝග අවදානම් රැසක් ඇති අප රටේ සුපුරුදු න්‍යායන්වලට සුපුරුදු අදහස්වලට දර්ශනවලට කොටුවෙන්නේ නැතිව මේ අභියෝග අවදානම් තත්ත්වවලට විසදුම් සොයන බවත් අප රටේ අද වන විට ආහාර සුරක්ෂිතභාවය වෙනුවට ආහාර අනාරක්ෂිතභාවයක් ඇති බවත් අපේම රටේ එළවළු පළතුරු භවභෝග උපයෝගී කර ගෙන ආහාර ඇතුළු අනෙකුත් ඉලක්ක සම්පූර්ණ කර ගත යුතු ක්‍රමවේදයක් කරා යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මහවැලි කේන්ද්‍රයේදී ආචාර්ය චන්දිමා විජය ගුණවර්ධන මහත්මිය විසින් රචිත ‘එමි ආච්චි-ශ්‍රී ලංකාවේ ආච්චි අම්මා සහ පූර්ව ජීවීන්’ ග්‍රන්ථය එළිදැක්විමේ අවස්ථාව හා එක්වෙමිනි.

මේ අදහස්වලට වෙනස් අදහස් ඉස්මතු කරන අන්ත දක්ෂිණාංශික නව ලිබරල්වාදී සංකල්ප මුල් කර ගෙන දේශීය සම්පත් පසෙකලා අධිරාජ්‍යවාදී සංකල්ප රජකරවන කණ්ඩායම් අප රටේ ඇති බවත් ඔවුන් අපේකම රටේකම සංස්කෘතිය සභ්‍යත්වය හිතාමතාම පිරිහමින් රටට ඔබින්නේ නැති සංකල්ප රටේ ස්ථාපිත කර රටේ ශ්‍රේෂ්ඨත්වය පලුදු කරන්න කූඨ කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරන නිසා මේවාට හසුනොවී වහලුන් නොවී සිටිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ අවස්ථාවේ රටේ අවශ්‍යතාව ජනතාවගේ අවශ්‍යතාව ගැන සිතා අප රටේ සම්පත් උපයෝගී කර ගෙන ස්වෝත්සාහයෙන් සෑම අතින්ම ස්වයංපෝෂිත විය යුතු බවත් අපේ මුහුදු තීරයේ ඇති ගෑස් නිධි ඉන්ධන සම්පත් ගැන කතා කරන බවත් පසුගිය දිනක සමගි ජන බලවේගය බලශක්ති ප්‍රතිපත්ති සම්පාදන කමිටුව රැස්වූ අවස්ථාවේ දී එහි සිටි විශේෂඥයන්ගෙන් මේ සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ දී ඔවුන් කියා සිටියේ විවිධ පාර්ශ්වවල බලපෑම් නිසා මේ සම්පත් ලබා ගැනීමට නොහැකි බවත් බලශක්ති සුරක්ෂිතභාවයට  ඉන්ධන සුරක්ෂිතභායට විරුද්ධව කටයුතු කරන පිරිසක් නිසා මේ සම්පත් ලබා ගැනීමට නොහැකි බව පැවසු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

‍මේ සම්පත් තිරසර ලෙස භාවිත කිරීම තුළින් විදේශ රටවලින් යැපෙන්නේ නැතිව ස්වයංපෝෂිතව කටයුතු කළ හැකි බවත් ආහාර සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ද මේ ගැටලු ඇති බවත් මේ කෘතිය හරහා අප රටටද පාඩම් රැසක් ඉගෙන ගැනීමට ඇති බවත් දේශීයත්වය අපේකම රටේකම සංස්කෘතියේ වැදගත්කම ආදිය මැනවින් ඉස්මතු කර ඇති බවත් ජනතාව ජීවත් කරවීමට අපේ රටෙන්ම ඉටු කළ හැකි දේ එනම් ආහාර සුරක්ෂිතභාවය වැනි ගැටලුවලට පවා මේ කෘතිය තුළින් පිළිතුරු දී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
 

Advertiesment